වසර 30ක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ පැවැති ගැටුම්කාරී තත්වය හේතුවෙන් සංචාරකයින්ට සංචාරය කිරීමට නුසුදුසු ප්‍රදේශ වශයෙන් නම්කර තිබූ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය තීරණය කිරීමත් සමග එම ප්‍රදේශ බ්‍රිතාන්‍යය සංචාරකයින්ට විවෘත වූ බව එංගලන්ත පුවත්පතක් වන "ඩේලි මේල්" සඳහන් කරයි.
සුන්දර වෙරළ තීරයන්, නිවර්තන වනාන්තර ප්‍රදේශ සහ යටත් විජිත ඉතිහාසය හේතුවෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සංචාරකයින් අතර ප්‍රචලිත වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාව සුරක්ෂිත ස්ථානයක් ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය හැදින්වීමත් සමඟම ශ්‍රී ලංකාව ව්‍යාපාර කටයුතු සඳහා ඕනෑම කෙනෙකුට විවෘත රටක් ලෙස එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මීට පෙර බ්‍රිතාන්‍ය රජය මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියා යන ප්‍රදේශයන් සංචාරකයින්ට තහනම් කලාප ලෙස නම් කර තිබුණි. නමුත් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් පසු මෙම ප්‍රදේශ සංචාරකයින්ට සංචාරය කළ හැකි සුරක්ෂිත ප්‍රදේශ වශයෙන් සඳහන් කොට ඇත.
බ්‍රිතාන්‍ය රජයේ මෙම තීරණය ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද වසර 30ක යුද්ධය අවසානයේ දී රට සාමාන්‍ය තත්වයට පත්ව ඇති බව පිළිඹිබු කිරීමක් බව ශ්‍රී ලංකා රජයේ විශ්වාසයයි.